Thursday, March 10, 2016

කළු පෙට්ටිය (18+)

   අඩොව්.. 18+ කිව්වනෙ. පොඩි එවුන් පලයල්ලා ඈ ගුටි නොකා. අන්තිමට හදිසි කම්පන, හෘදයාබාධ එහෙම නැත්තන් බොලාට නූල් බඳින්න වුනොත් එහෙම මං දන්නෙ නෑ.. ආ ඔය ලොකු මහත්තුරු ටික කූල් වතුර බෝතලයක්, රටකජු ගොට්ටක් එහෙම අරගෙන ඔය මුල්ලකින් වාඩිවුනා නම්.....



   ඔන්න ලෝක රූ රැජිණ තරඟයක් අවසාන වෙලා ඒකෙ පළවෙනි ස්ථාන 3 ගත්තු රූ රැජිණියෝ තුන් දෙනාට ප්‍රංශයට ගුවන් සවාරියක් හම්බ වුනාලු.. මේ කෙල්ලො තුන් දෙනාගෙන් එක්කෙනෙක් තායිලන්තයෙ, එක්කෙනෙක් ඉන්දියාවෙ, අනිත් කෙනා සෝමාලියාවෙලු.. ඔන්න නියමිත වෙලාවට ප්ලේන් එක එයාර්පෝට් එකෙන් පිටත් වුනා..


   ගමනෙ බාගයක් දුර යනකල් ප්‍රශ්නයක් ඇතිවුනේ නෑ.. ඒත් ටික වෙලාවක් යද්දි ගුවන් නියමු තැනගෙන් අනතුරු ඇඟවීමක් ආවා.. "අප ගමන් කරන මේ යානයේ යාන්ත්‍රික දෝෂයක් ඇතිවෙලා. යානය කඩා වැටෙන්නයි යන්නේ" මේක අහපු රූ රැජිණියෝ තුන්දෙනාම හොඳටම බය වුනාලු.. තම තමන්ගෙ ආගමික දෙවිවරු සිහි වුනාලු..

   යානය දැන් පාලනයෙන් තොරයි.. මේ අතරෙ ඉන්දියාවෙ රූ රැජිණිය මේක් අප් දාන්න පටන් ගත්තා.. අනිත් දෙන්නා මේ විකාරෙ දිහා බලන් ඉන්න බැරිකමට අහනවා පිස්සුද මේ වෙලාවෙත් මේක් අප් කරන්නෙ? ඔළුව හොද නැද්ද? ඉන්දියාවේ රූ රැජිණිය කියනවා "මේකනේ, ගැලවීමේ හමුදාවෙ අය ආවම ඒ අය ඉස්සෙල්ලම බේරගන්නෙ ලස්සනම මූණ තියන කෙනාව, ඒ කියන්නෙ මාව තමා" කියලා..

   ඒ කතාව අහන් හිටිය තායිලන්තෙ රූ රැජිණ තමන්ගේ උඩුකය ඇඳුම ගැලෙව්වා.. දැන් අනිත් දෙන්නා බලනවා මෙයාට හැදුන පිස්සුව මොකක්ද කියලා.. එයා කියනවා "ගැලවීමේ හමුදාවේ අය ආවම මුලින්ම බේරගන්නෙ ඔය කාවවත් නෙමේ, ලස්සනම රණහංස යුවල අයිති කෙනාව තමා" කියලා..

   සෝමාලියාවේ රූ රැජිණ මේ හැම පුරාජේරුවම අහන් හිටියා.. ගැලෙව්වා තමන් ඇඳගෙන හිටිය ඇඳුම.. දැන් එයා උපන් ඇඳුමෙන්.. ඇඟේ නූල් පොටක්වත් නෑලු.. අනිත් දෙන්නා ඇහුවා ඒ ගමන ඔයාට මොකක්ද මේ වුනේ කියලා.. එයා කියාපි.....

"ඔය දෙන්නට හොඳටම පිස්සු.. ගැලවීමේ හමුදාව ආවම කරන්නේ ඔය කිසිම දෙයක් නෙමේ.. ඒ අය මුලින්ම හොයන්නෙ එකම දෙයයි.. ඒ තමා කළු පෙට්ටිය"..


ප.ලි
දාන්න පෝස්ට් එකක් හිතුනෙ නෑ.. ඉතින් කලින් අහලා තිබුන කතාවක් දාන්න හිතුනා ;) රෙද්ද උස්සන් එන්න එපා ඈ....

Friday, March 4, 2016

මිත්‍ර ප්‍රතිරූපක

   උබලගෙ සෙට් වල වුනත් ඉන්නවා ඇතිනෙ බොරුවක් වුනත් ඇත්තක් විදියට ලෙසටම කරකවලා කියන එකෙක්.. අපේ පැත්තෙත් ඉන්නවා එහෙම බුවෙක්.. ඌ හැබැයි ටොම් පචයෙක්ම විතරක් නෙමේ මිත්‍රවරුණි.. පිස්සෙක්, හොරෙක්, ගෑනු පෙරේතයෙක්, ඒ වගේම හැම තැනකම මුලසුන දරන්න ට්‍රයි කරන එකෙක්.. නමක් දාන්න ඕන නිසාම අපි ඌට සනම් කියමුකො :3 ඉතින් මේ සනම්ගේ වත, අහගන්න හැමෝම වටවෙලා..

   පොර අපේ ගමට එද්දි මට වයස 8ක්,9ක් වගේ ඇති මගෙ හිතේ.. පොර මට වඩා අවුරුද්දක් බාලයි.. කරුමෙට උගෙයි මගෙයි දෙන්නගෙම උපන්දිනේ එකයි ඈ -_- ඒකෙන් කාරී නෑ.. ආපු මුල් දවස්වල නම් හෙන පොර වගේලු ඌ හිටියේ :3 පස්සෙ ඉතින් ඒ ලයින් බැස්සා.. කාලයක් යද්දී ඌ මාවයි ම්ල්ලිවයි අදුරගත්තා.. අපි එකට සෙල්ලම් කළා ඒ කාලෙ.. පොර අපේ ගෙදර එනවා සමහර වෙලාවට.. එක දවසක්, මං 6 වසරෙ මතක හැටියට.. මට ඒ කාලෙ රෙස්ලින් කාඩ් එකතු කරන පිස්සුවක් හැදිලා තිබ්බා බරටම (කාඩ් 1000කට වැඩිය තිබ්බලු :3) ඉතින් ඒ කිව්ව දවසෙත් අරූ ආවා.. ටිකක් ඉදලා ගියා.. හවස් වෙලා ආවා මාත් එක්ක කාඩ් මාරුකරන(අපේ බිස්නස් එක) එකෙක්.. ඔය වෙලේ කාඩ් මිටි ටික අරන් බැලුවම අම්මට සිරි ගෙඩි පිටින් කාඩ් දෙසීයක් තුන්සීයක් මිසින්ග්.. පස්සෙ කල්පනා කරලා බලද්දී මට මීටර් වුනා මූ කාඩ් ටික තිබ්බ බෑග් එක හරියෙ කැරකි කැරකි හිටියා කියලා.. අතටම මාට්ටු.. මං උන්ගෙ අම්මටත් කිව්වා මූ මෙහෙම කළා කියලා.. ඒත් මං හිතන්නෙ නෑ ඒ ආන්ටි ඒක ගානකටවත් ගත්තාය කියලා.. එදා ඌට දෙකක් දීලා ඇගිලි ටික තැලුවා නම් ඕකා එතනින් නවතින්න තිබ්බා..


   කාලයක් ආශ්‍රය නොකර හිටියා.. ගෙවල් ළග එකා නිසා නිතර හම්බවෙනවනේ ඉතින්.. කතා බහ වෙනවා.. මොකෝ ඌ කොහොම එකෙක් වුනත් ඌට ඔරෝගෙන පාරේ යන්න කියලා යැ.. තරහා හිතේ තියාගෙන ඉදලා කෝමත් මට පුරුදු නෑ(මට කෙළවුණ තැන).. ඉතින් ඔහොම ඕකා ආයෙම සෙට් වුනා.. ඒ සැරේ මගේ ෆෝන් කට්ටේ මෙමරි චිප් එක නැති වුනා.. ආයෙම කාලෙකින් කතාබහ කරනවා.. ඒ සැරේ මල්ලිගෙ මල්ටි චාජර් එක නැතිවුනා.. ඉතින් ඔය හැමදේකින්ම අවසානේ මං තේරුම් අරන් හිටියේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න හොද නෑ කියලා.. ඊටත් වඩා මට ඕකගෙ අල්ලපු නැතිම දේ නයි ඇරිල්ල.. බොරුව ඇත්ත කරලා කියන්න පට්ට දස්සයි මූ.. එක පාරක් මට කෙල්ලෙක් දෙන විදියට ලව් ලෙටර් එකකුත් දීලා අන්දන්න හැදුවා -_- ඔය සීන් නිසා මං ඕකව අතෑරලම දැම්මා.. 

   පස්සෙ කාලෙක ඕකා මගේ වෙන ගෙවල් පැත්තෙ යාලුවෙක් එක්ක සෙට් වුනා.. ඌ පට්ට ගොන් චරිතෙ.. මූ නිසා ඌ අම්බානක පරිප්පු කාලා ඇති.. කාලයක් මුන් දෙන්නා හිටියේ ගෑනියි මිනිහයි වගේ.. ගේ සීන් ද කියලත් අපිට නොහිතුනාම නෙමේ :3 පහු පහු වෙද්දී කොහු කොහු වෙන්න ගත්තලු ඉතින්.. මූ එක සැරයක් අර කොල්ලා එක්ක ප්‍රශ්නයක් ඇදගෙන වෙන කට්ටියක් ලව්වා ඌට ගැස්සුවා.. දෙතුන් පාරක්ම.. ඌට විරුද්ධව අනිත් කොල්ලෝ ඇවිස්සුවා.. මං කිව්වනෙ ඌ ටිකක් ගොන් කියලා.. ගුටි කාගෙනත් මූ අරූ තාම ආශ්‍රය කරනවා.. උගේ හැම දෙයක්ම අරූට දෙනවා :3 අන්තිමට ඌ හිගන්නා වගේ ඉන්නවා.. පස්සෙ දවසක සනම් අර කොල්ලගෙ ෆෝන් එක උස්සලා තිබ්බා.. එදා මමයි, මල්ලියි දෙන්නම ගෙදර.. ඉතින් අපිත් ගිහින් මූව හෙව්වා.. සනම්ගේ ගෙවල් පැත්තට ගිහින් බලද්දී මුගේ ආච්චි ගේ ඉස්සරහ ඉදන් කියනවා ඌව දැක්කෙවත් නෑලු.. කෝකටත් අපි ගිහින් හෙව්වා.. බලෙන්ම වගේ.. බලද්දී මූ ගෙදර ටොයිලට් එක ඇතුලට වෙලා හැංගිලා ඉදලා.. අපි ටොයිලට් එකේ දොර ඇරියම මූ හෙන ගොන් හිනාවක් දාගෙන එලියට ආවේ.. ඉස්සුවෙ මගේ ෆෝන් එක නම් ඕකව බාවනවා මං :3 ඒත් අර ගොනා ඌට සමාව දීලා ආවා.. ඉතින් අපි පැනලා ගහන්නද? අපිත් ආවා..


   මට මූ ගැන කියන්න හිතුනෙ මේකයි.. මේ කාලේ අපිට ටිකක් අමාරු කාලයක්.. රීම් එකෙන් තමා යන්නෙ ඉතින්.. සනම් මේ ලගදි ආවා අම්මට ත්‍රීවීල් පදින්න උගන්නන්නම් කියලා.. මගේ ඇස් ඔපරේෂන් කරලා තිබ්බ නිසා මට ඕවා කරන්න පුලුවන් තත්ත්වයක් තිබ්බේ නෑ.. මල්ලි එච්චර ලොකු උනන්දුවක් තිබ්බේ නෑ අම්මට මේ ටික කියලා දෙන්න.. ඉතින් මූ කියලා දෙන්න කියලා ඇවිත් ගෙදර හැමෝම ටිකක් එහෙ මෙහෙ වෙනකල් ඉදලා අම්මගේ පර්ස් එකට කෙලලා ගිහින් තිබ්බා.. අම්මා මූ ගැන දන්න නිසා සෙවිල්ලෙන් හිටියේ.. ඒත් ගෙදර මිනිස්සුන්ගෙ ඇස් වහලා ඌට ඕන දේ කරගන්න ඌ හොදට දැනගෙන හිටියා..

   අම්මා පොරට බැන්නේ වත් නෑ.. බැනලා තේරුමක් නෑ.. කවදාවත් හැදෙන එකෙක් නෙමෙයිනේ.. එදායින් පස්සෙ අද වෙනකල් තාම ඕකව ගෙදරට වද්දගත්තේ නෑ.. මොනාටහරි ආවොත් එළියෙදිම කතාකරලා හරවලා යවන එක තමා මං කරන්නෙ.. 


   අපේ ගෙදර විතරක් නෙමේ, ගෙවල් කීපෙකම ඕකා ඔය විදියට කරලා මාට්ටු වෙලා තියනවා.. අදට වුනත් ඒ පැත්තෙ මිනිස්සු අතරෙ මූට හොද කාඩ් එකක් තියනවා.. නම කිව්වොත් ගේකට නම් වද්දගන්නවත් එපාය කියලයි ලොකු පොඩි ඕන කෙනෙක් කියන්නෙ.. හැබැයි අපේ ගමේ යෞවන සමාජෙත් ප්‍රධාන සංවිධායක මූ :3 මොනා වුනත් පොර ප්‍රසිද්ධයි ඉතින් :p හොඳින් හෝ නරකින්......


ප.ලි
ඩේටා පැකේජ් එක කලින් ඉවර වුන නිසා පෙබරවාරි මාසෙ පෝස්ට් 4කට සීමා වුනා.. මේ මාසෙත් මුල් දවස්වල ටිකක් බිසී වුනා.. අද තමා ටිකක් ටයිම් ලැබුනෙ එන්න..

අර බ්ලොග්කරුවන්ගේ සම්මාන උළෙලට එන්න මගේ පොඩි අදහසක් තියනවා.. ඒ සම්බන්ධව හොදටම දන්නා කෙනෙක් මාව ටිකක් දැනුවත් කරානම්...

Monday, February 22, 2016

ඇක්සිඩන්ට්!!! ඇක්සිඩන්ට්!!!

   හදිසි අනතුරු, එහෙම නැත්තන් කිව්වොත් ඇක්සිඩන්ට් ගැන නම් ඉතින් ලියන්න කතා එමටයි. ඔය සිද්ධ වෙන හදිසි අනතුරු අතරිනුත් මාර්ග අනතුරු ප්‍රධාන තැනක් ගන්නෙ. හැමදාම නිවුස් බැලුවොත්, පත්තරයක් බැලුවොත් මාර්ග අනතුරක් ගැන විස්තරයක් හොයාගන්න නැති දවසක් නැති තරම්. ඉතින් මේ කතාව මගේ එක් අත්දැකීමක්. බොහෝම ලඟදි මුහුණ පාන්න සිද්ධ වුන ඇබැද්දියක්.

එහෙනම් කතාව අහමු නේ...


මෙන්න ඇක්සිඩන්ට් :D


   මීට මාස එක හමාරකට විතර උඩදී, දවසක මගේ ලොකු අයියා අම්මට කෝල් එකක් දීලා තිබ්බා. අයියා පිට රටක ඉන්නේ. ඉතින් එයා අම්මගෙන් අහලා තිබ්බා මේ දවස්වල එයාගෙ නැන්දම්මයි, මාමණ්ඩියි ලංකාවෙ ඉන්නෙ, එයාලා ආයෙ යනකොට එයාලා අතේ ඔය පොඩි පොඩි කුළුබඩු කළමනා ටිකක් එවනවද කියලා. අම්මා ඉතින් කැමති වෙලා මට විස්තරේ කිව්වා. මට පාරට පයින් යන්න කම්මැලි හිතුන නිසා මං අම්මට කිව්වා මල්ලි ආවම ඌත් එක්ක ත්‍රීවීල් එකේ යමු කියලා. මල්ලිට ඩ්‍රයිවින්ග් පුලුවන්. මගේ ඇස් ඔපරේටඩ් කරලා තිබ්බ නිසා මං පාරේ ගියෙ ආවෙත් හෙන බයෙන් ඒ දවස්වල... ලොකුවට පෙනීම තිබ්බෙ නෑ :( (දැන් නම් ශේප්) ඉතින් අම්මත් ඒ කතාවට අනුමැතිය දීලා මල්ලි එනකල් බලන් හිටියා.

   මල්ලි ඉස්කෝලෙ ගිහින් ඇවිත්, හවස ජිම් එකටත් ගිහින් ඇවිත් ඔන්න අපි රෑ 10ට විතර යන්න ලැස්ති වුනා. අපි ප්‍රධාන පාර කිට්ටුවට ආවා. ඒ කිට්ටුවම පල්ලිය තියන නිසා මං මල්ලිට කිව්වා ඔය හරියෙ වාහනේ නවත්තන් ඉදපන් මමයි අම්මයි අරගෙන එන්නම් කියලා. වැඩ්ඩා වගේ එළවන් ආවට ලයිසන් නෑනෙ ඕකට. කොළඹ-නුවර පාරෙ මේ වෙලේට පොලීසියෙන් ඉන්නවා. කොහොම වුනත් මූ එතන නවතින්න කැමති වුනේම නෑ. ඉතින් අපි අතුරු පාරෙන් ප්‍රධාන පාර පැත්තට හැරෙව්වා..

   අපේ පිටිපස්සෙන් කාර් එකක් ඇවිත් අනිත් සයිඩ් එකට යන්න සිග්නල් කරපු නිසා මල්ලි වාහනේ ප්‍රධාන පාරෙ අයිනට කරලා නවත්තලා කාර් එකට ඉඩ දුන්නා. ඊට පස්සෙ මූ වාහනේ ප්‍රධාන පාරට දාන්න ඇක්සලේටර් එකට අත තියන්න හැදුවා විතරයි එකපාර පිටිපස්සෙන් වැදිච්ච තද පාරකින් අපිව හෙල්ලිලා ගියා. බලද්දී කාර් එකකුයි, තව ත්‍රී වීල් එකකුයි. මටයි මල්ලිටයි මල අතේ.. යකෝ පාර අයිනෙ නවත්තලා තිබ්බ වාහනේ. අනික තාත්තා ජීවතුන් අතරෙ හිටපු කාලෙ පරිස්සමෙන් පාවිච්චි කරපු වාහනේ.. ඉතින් අපි ගේමට ගියා.. තව ගෙවල් පැත්තෙ අඳුරන කොල්ලෙක් අපිට එකතු වුනා. උගේ පස්සෙන් තව සෙට් එකක් ආවා. දැන් අරුන් ෆුල් කොර..

   අනිත් ත්‍රීවීල් එකේ ඩ්‍රයිවර් විස්තරේ කියලා තමුන් අතේ වරදක් නැති බව ඔප්පු කළා. ඒ යකා එතන U හැඩේ වංගුවක් අරන් තියෙන්නෙ. සිග්නල් හිටං දාලා.. කාර් එක මේන් රෝඩ් එකේ විදගෙන ඇවිත් තියෙන්නෙ 80න් එහාට. කාර් එකේ අයිතිකාරයා ඌ නෙමේ. ඒ මදිවට ඒ යක්කු බීලා. අර ත්‍රීවීල් එක බේරන්න අපේ පැත්තට හැරෙව්වා කියලා උන් කියනවා. ඒකෙන් වාහන 3ටම ඩැමේජ්.. කොහොම හරි මුලින් ටිකක් සද්දෙන් කතා කරපු ඩබල ටික වෙලාවකින් සයිලන්ස් වුනා. වරද උන්ගෙනෙ. ඉතින් අපි ඉල්ලුවා හොඳ වන්දියක්.. අම්මා නම් කිව්වා 50,000ක් වත් ඕන කියලා. හැබැයි කාර් එක ඩ්‍රයිවින්ග් කරපු එකා කිව්වා ඌට එච්චර දෙන්න බෑ කියලා.. 20,000ක් දෙන්නම් කිව්වා උපරිම.

   අපිත් ඉතින් ඇරියෙ නෑ. 50ක්ම ඉල්ලලා හිටියා. කාර් එකේ ඩ්‍රයිවර් කාරයා සල්ලි ගේන්නම් කියලා මල්ලියි අම්මයි තව දෙතුන් දෙනෙකුයි එක්ක ගියා උගේ ගෙදර. ඒ අස්සෙ ආවා කාර් එකේ අයිතිකාරයා. ඌ ටිකක් නාහෙට නාහන ටයිප් එකේ පොරක්. හිටපු ආමිකාරයෙක්ලු.. මූ එතනින් වාහනේ ගෙනියන්නම දැඟලුවා. අපි ගෙනියන්න දුන්නෙ නෑ.. ඉතින් ඔතන හිටපු එකා දෙන්නා ටිකෙන් ටික ගෙවල් බලා යන්න පටං ගත්තා.. කාර් එකේ අයිතිකාරයා එක්ක ඇවිත් හිටියා උගේ යාලුවෙක්.. මුන් සේරම හොඳට බීලා.. ඒ පොර අපිව කතාවට අල්ලගත්තා. අපිට එහෙට යන්නත් නෑ, මෙහෙට යන්නත් නෑ.. කේන්තිය නිසා ඌට ගහන්නත් ගියෙ.. ඒ අතරේ කාර් එකේ අයිතිකාරයා වාහනේ ස්ටාර්ට් කරන්, යනවා දැක්කා.. මං ෆුල් හොල්මන්. මොනා කරන්නද ඉතින්.....

   ටිකකින් කාර් එක ඩ්‍රයිව් කරපු එකා අපේ අම්මලා එක්ක ආවා. මං හිතුවෙ මූ දැන් 50ක්ම දෙන්න තමා යන්නෙ කියලා.. බලද්දී මූ 20ම තමා දෙන්නම් කියන්නෙ.. පස්සෙ එතන ආයෙ කෑගහගන්න ගත්තා කියාන්කෝ.. අන්තිමට කාර් එක ඩ්‍රයිව් කරපු එකාගෙ යාලුවෙක් ට්‍රැෆික් පොලීසියට කතා කරලා දෙන්නෙක් ආවා පොලිස්කාරයො.. ඇවිත් විස්තර සේරම කතා කරන් ඇහුවා කවුද ත්‍රීවීල් එක ඩ්‍රයිව් කළේ කියලා.. පස්සෙ මල්ලිට ලයිසන් තිබ්බෙ නැති නිසා අපි දන්න කොල්ලෙක් ඉදිරිපත් වුනා ඌ ඩ්‍රයිව් කළේ කියලා.. ඊට පස්සෙ පොලිස්කාරයො කිව්වා වාහනේ පොලීසියට ගෙනියමු කියලා.. පස්සෙ අපි හැමෝම ගියා පොලීසියට.. යකෝ, බලද්දී පොලීසියෙ ලොක්කො ටික එහෙට මෙහෙට වැනෙනවා.. බලද්දී අරුන් බීලා තියෙන්නෙ පොලිස්කාරයොත් එක්ක. මොන මගුලක්ද...


මෙන්න මෙහෙමයි මුන්


 අන්තිමට පොලිස්කාරයො ටික කේස් එක ශේප් කළා.. අන්තිමට අපිට 20ත් අරන් එන්න වුනා හැරිලා.. දැන් හිතෙනවා ඒක හරි හම්බුන එක ලොකු දෙයක් කියලා.. මොකද අපේ වාහනේ ෆුල් ඉන්ෂූරන්ස් කරලා තියන නිසා අපිට ක්ලේම් කරලා හදාගන්න පුළුවන් නෙහ් :D

ප.ලි
අවවාදයයි - බීමතින් රිය නොපදවන්න

Friday, February 19, 2016

පටි ජොකා (18+ වගේ)

   අඩේ අප්පා.. ඊයෙ ඉදන් බ්ලොගේ පෝස්ටුවක් ඔබන්න කියලා හිතාගෙන හිටියෙ. ලියන්න දෙයක් ගැන ඔලුවට කිසිම අයිඩියා එකක් ආවෙ නෑ බොලං. ඒ අස්සෙ නිකන් ඔලුවට ආවා මට වෙච්ච සිද්ධියක්. සතියකට උඩදී...

   පටි ජොකා, එහෙම නැත්තන් සරල සිංහලෙන් කිව්වොත් මේ සපෝටර් කියන්නෙ අපි වගේ සල්ලි දීලා බර උස්සන්න යන උන්ට අත්‍යාවශ්‍යම දෙයක්. මේක සාමාන්‍ය අන්ඩ(ර්)වෙයා ටයිප් එකේම දෙයක් වුනාට විශේෂත්වේ කියන්නෙ මේකෙ පස්ස පැත්තට තියෙන්නෙ හීනි පටි දෙකක් විතරයි. හොඳට තද වෙලා හිටිනවා. ජිම් එකේ වර්ක්අවුට් එක ගහනවා නම් මේ දේ පැළඳීම අනිවාර්යයි (දැන් කියන්න එපා සපෝටර් නොදා සෙල්ලම් කරන උනුත් ඉන්නවා කියලා ඈ). මොකද නැත්තන් විවිධාකාරයේ අතුරු ආබාධ එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. සමහර දේවල් බහින්නත් ඉඩ තියනවලු :D ඔව් ඒක තමා... ඉතින් වටේ ගියා ඇති.. අද මගේ මාතෘකාව "පටි ජොකා අමතක වූ දිනයක්" ^_^

මේ වගේ එකකට තමා පටි ජොකා කිව්වෙ :D

   මම ඉතින් සාමාන්‍යයෙන් ටිකක් කලබලකාරී මිනිහා. වෙලාවකට මං ගන්න දෙයක් තිබ්බ තැන අමතක වෙන අවස්ථා එමටයි. ඉතින් මිත්‍රවරුනි, දවසක් මං ජිම් යන්න ලෑස්ති වෙලා ඇඳුම් හොයනවා. ඇඳුම් එක එක කෑල්ල එක එක තැන්වල තමා පුරුද්දක් වශයෙන් තියෙන්නෙ. කොහොමහරි ඔය කෑල්ලෙන් කෑල්ල එක්කහු කරගෙන බෑග් එකේ ඔබාගත්තා කියමුකෝ. ටිකකින් ආවා මාත් එක්ක ජිම් එකට යන පොර, හවස් වෙලත් තිබ්බ නිසා අපි ටක් ගාලා ඇද්දුවා ජිම් එක දිහාට.

    චේන්ජින්ග් රූම් එකට ගියා. සාමාන්‍යයෙන් මං ගෙදරින් පිටවෙන්නෙම සපෝටරේ දාලා තමා. හැබැයි එදා මට පොඩි බඩේ අවුලක් තිබ්බ නිසා මං ජිම් එකට ඇවිත් දාගන්න හිතාගෙන සපෝටරෙත් බෑග් එකේ ඔබාගත්තා (කියලා මතකයක් තිබ්බා). චේන්ජින්ග් රූම් එක කට්ට කළුවරයි. මං ඉතින් එහෙන් මෙහෙන් අතගාලා ඇඳුම් කෑලි ටික හොයාගෙන ඇඳගත්තා. ඒත් මට නිකමට වගේ දැනුනා මොනාහරි අමතක වුනාද කියලා. ඒ හින්දා කෝකටත් කියලා ඇඳන් ඉන්න ඇඳුම් ටික ආයෙම චෙක් කරලා බැලුවා. "හුටා සපෝටරේ දාලා නෑ යකෝ" මට උඩ ඉන්න දෙයියො සිහිවුනා. මර විකාරෙන් වගේ මං චේන්ජින්ග් රූම් එක අනිත් පැත්ත පෙරලන්න ගත්තෙ මේ පොඩි කෑල්ල කොහෙහරි අස්සකටවත් වැඩම කරලද කියලා බලන්න. මොන... නෑ දෙයියෝ... 

අද මගෙ අනාගතේ ඉවරයි.........

   මගේ යාළුවත් දැන් නිකන් ෆුල් අන්දොස් වෙලා මං දිහා බලන් ඉන්නවා. අඩෝ අද මට සෙල්ලම් කරන්න බෑ වගේ බන්......... මං මූට විස්තරේ කිව්වා. මූ කිව්වා උබ අද බර අඩුවෙන් දාලා ගහපන්. වැඩිය හිටගෙන සෙල්ලම් කරන්න එපා කියලා. එල එල එහෙම කරමු කියාගෙන මාත් ආවා. එන ගමන් මං ෆෝන් එකට ඔලුව දාලා අද දවසෙ සෙල්ලම් කරන්න තියන ලිස්ට් එක බැලුවම මට තරු පෙනුනා. 

අද අත්වලට ගහන දවස, ඉඳගෙන ගහන්නෙ කොහොමද.........

   මං ෆුල් අස්පට් මූණක් දාගෙන ජිම් එක ඇතුලට ආවා. මෙන්න අපේ ජිම් එකේ ලොක්කා ඉන්නවා ඉස්සරහ. තව දෙතුන් දෙනෙකුත් ඒ හරියෙ. අරූ ගිය ගමන් අයියගෙන් ඇහුවා අයියෙ සපෝටරේ නොදා සෙල්ලම් කළාට අවුලක් නෑ නේද කියලා. වස නෝන්ඩිය... එතන හිටපු උන් ටික නිකන් කින්ඩියට වගේ හිනා වුනා. හැබැයි ඉතින් අයියා මගෙ බය ඇරියා. :) එහෙම අවුලක් වෙන්නෙ නෑ මල්ලි. එහෙම වෙනවා නම් ඉතින් වෙන මොනාහරි අවුලක් තියෙන්න ඕන කියලා. කොහොමහරි ඒ වදන නිසාම මං එදා සෙල්ලම් කළා. ඉදලා හිටලා යටි බඩ මිරිකනවා වගේ පොඩි අමාරුවක් ආවා ඇරෙන්න, වෙන අවුලක් නම් වුනේ නෑ හරිය. ඔයින් මෙයින් සෙල්ලම් කරලා ඉවර වෙලා අපි ගෙවල් බලා එන්න පටන් ගත්තා.





   මට තාම හිතාගන්න බැරි මගෙ අසරණ සපෝටරේට මොනා වුනාද කියලා. මට මතකයි ඒක මං බෑග් එකේ දාගත්තා. මගේ හිත කිව්වෙම චේන්ජින්ග් රූම් එකේ කොතන හරි ඕක වැටිලා ඇති කියලමයි. මට තිබ්බ එකම එක සපෝටරේ... දැන් මං ආයෙ අලුතෙන් එකක් ගන්නත් එපැයි....... ගෙදර යනකල්ම එක එක විකාර සිතුවිලි මගෙ ඔලුවේ ෆුට්බෝල් ගහනවා වගේ.. මං ගේ ළඟටම ආවා.. ඔන්න ගේ ඇතුලටත් ආවා..

මෙන්න යකෝ මේ යකා පුටුව උඩ....!!

--------------------------------------

ප.ලි
එහෙමයි වුනේ.. තාම මට කිසිම ප්‍රශ්නයක් නෑ.. හැබැයි කෝකටත් කියලා මං සපෝටරේ අමතක නොකර අඳිනවා..

කැරකෝප්පුව බ්ලොගේ කරන සහෝදරයට මං විශේෂ ස්තූතියක් කරනවා.. මම දන්නෙත් නෑ පොර මගේ ගැන උගෙ පෝස්ට් එකක දාලා තිබ්බා.. බොහොම ස්තූතියි මචන්.. මින් ඉදිරියටත් තවත් කෙනෙක් දිරිමත් කිරීමේ ශක්තිය උබට ලැබේවා කියලා මං පතනවා!!! උබලා වගේ උන් තමා ඉන්න ඕන...

එකෙන්ම!!!
   

Monday, February 15, 2016

මට අහිමි ඔබ... (කෙටිකතාව)

 
"ඒ මහේෂි.. අරයා කවුද?"

"ආ.. ඒ මගේ ඉස්කෝලෙ පරණ යාළුවෙන් බන්. මොකෝ අහන්නෙ? එයා ගැන හිත ගියාවත්ද!"

"නෑ මේ නිකන්.... උබට වැඩක් නෑනේ..."

"හා ඔහොම යමුකො ඉතින්.. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ රජෝ...."

   ඒ උණුසුම් ඔක්තෝම්බරයෙ තවත් එක් සුන්දර දවසක්. එයාව මුලින්ම දැක්ක දවසෙම මගේ හිතේ එයා ගැන අමුතු හැගීමක් ඇතිවුනේ. එයා කොයි තරම් ලස්සනද.. අහිංසක පාටයි.. හරියට පුංචි මුවැත්තියෙක් වගේ. දැක්කම ආදරේ හිතෙන ලස්සන ඇස් දෙකක්. ඒ ඇස් දෙකට මං කොයි තරම් ලෝබ වුනාද.. ඒ මතකය අදටත් මගේ ඇස් ඉදිරියෙ චිත්‍රපටියක දර්ශනයක් වගේ මැවිලා පේනවා. ඒ තරම් මම ලබපු අත්දැකීම් ජීවමානයි. ඒ තරම් මගේ ආදරේ බොළඳ වුනා.

   එයාගෙ නම රශ්මි. මගේ හොඳම යාලුවන්ගෙන් එකියෙක් වුන මහේෂිගෙ මාර්ගෙන් තමා මට එයාව මුලින්ම දැන අදුරගන්න ලැබුනෙ. මුලදි මුලදී එච්චරම නැතත් ටික වෙලාවකින් අපි දෙන්නා හොඳට දොඩමලු වුනේ හරියට නිකන් අවුරුදු ගාණක් දන්න කියන අය වගේ. සංසාර බැඳීමක්දෝ කියලා මට හිතුන වාර අනන්තයි, අප්‍රමාණයි. ඒ තරම්ම අපි එකිනෙකාට ලංවුනා කිව්වොත් මම වැරදි නෑ. අපි හැමදෙයක් ගැන, හැම මාතෘකාවක් ගැනම කතා කළා, විවාද කළා. ඒ අතරෙ විටින් විට අපේ පහුගිය අතීතෙ ගැනත් දේවල් ඇදිලා ආවා. ඒ වගේම එක දවසක මට දැනගන්න ලැබුනා එයාගෙ වැළලිලා ගිය තවත් එක් මතකයක්. ඒ එයාගේ කලින් ආදරේ ගැන.

"අනේ ප්ලීස් ශානක, මම ඔය සබ්ජෙක්ට් එකට පොඩ්ඩක්වත් කැමති නෑ.. මට මතක් කරන්නවත් එපා."

"ඇයි රශ්මි ඔයා එහෙම කියන්නේ.. අපි හැමකෙනෙක්ටම වැළලිච්ච ගඳ ගහන අතීතයක් තියනවා තමා. ඔයා කැමති නම් විතරක් කියන්න, මං ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්නම්. අකමැති නම් ප්‍රශ්නයක් නෑ... මං ඔයාට බලකරන්නේ නෑ."

"හ්ම්... කියන්නම්.. හැබැයි ඔයා ඊට පස්සෙ මං දිහා ගොඩක් පිළිකුලෙන් බලයි...."

"බයවෙන්න එපා මැට්ටි.. මම එහෙම හිතන්නෙ නෑ බිඳක් වත්.."

   එදා එයා මට කිව්ව දේවල්... මට හිතාගන්න බැරි වුනා ඒ මොන වගේ නරක අත්දැකීමක්ද කියලා. කොල්ලෙක් විදියට තවත් කොල්ලෙක් කෙල්ලෙක්ට ඒ වගේ පහත් දෙයක් කළා කිව්වම මට ඇතිවුනේ ලොකු කේන්තියක්.. ලැජ්ජාවක්. කෙනෙක්ට තවත් කෙනෙක්ව බිඳවන්න පුළුවන් සීමාවක් තියනවා. ඒත් මේ තරම්? මේ අහිංසක කෙල්ල මොන තරම් දුකක් හිතේ හිරකරන් ඉන්න ඇද්ද? අසරණී හැඩූ කඳුලෙන්ම විස්තරේ කියලා ඉවර කළා. ඒ වෙලේ මට දැනුන ෆීලින්ග් එක මටවත් හිතාගන්න බැරි තරම්. ඒ තරම් හයියක් මගේ හිතට ලැබුනෙ කොහෙන්ද කියලා හිතන්න ප්‍රමාද වෙන්නැතුව මං කතා කළා.

 "අඩන්න එපා රශ්මි. දුක් වෙලා වැඩක් නෑ. වෙන්න තියන හැමදෙයක්ම දැන් වෙලා ඉවරයිනෙ.. ඔයා තනිවෙලා නෑ ළමයෝ. කවුරු නැතත් ඔයාට මම ඉන්නවා.. මම කවදාවත් ඔයාව තනිකරන්නෙ නෑ..."

"මං ඔයාට ආදරෙයි රශ්මි...."

"පිස්සු කතා කරන්න එපා ශානක. මං ඒ තරම් පහතට වැටිලා නෑ කවදාවත්.. වෙන කෙනෙක් කරපු දේකට ඔයා දඬුවම් විඳින්නෙ මොකටද? මට ඔයාට ආදරේ කරන්න බෑ. මේ මගේ පවු.. ඒවා ඔයා කරගහගන්න එපා. මට වගේ නෙමේ ඔයාට හොඳ ජීවිතයක් තියනවා.."

"රශ්.. මාව ඒ තරම්ම බාල්දු කරන්න එපා. මං මේ දේ අවංකවමයි ඔයාට කිව්වෙ.. ටිකක් තේරුම් ගන්න ළමයෝ..."

.......................................................................



   එදා අපි රෑ වෙනකල්ම ෆෝන් එකෙන් කතා කළා.. ගොඩක් දේවල්.. ඒ දේවල් තාමත් මට ඇහෙනවා වගේ......

"ශානු..."

"හ්ම්ම්..."

"මාව කොහේහරි එක්කගෙන යන්නකෝ..."

"කොහෙටද මං සුදු මැණිකව එක්කගෙන යන්න ඕන?"

"කොහෙහරි.. ඔලුව හැරිච්ච තැනක.. මාව මේ නපුරු මිනිස්සුන්ගෙන් ඈතට අරන් යන්න.."

"අනා මෙයාගෙ හුරතලේ.. හරි අපි යමුකො එහෙනම්.. මං ඔයාව ලෝකෙ වටේම හරි එක්කගෙන යනවා.."

"මැට්ටා.. ඔහොම කියනකොට මට ඔයා ගැන ආදරේ හිතෙනවා......."

   එයා එහෙම කිව්වා. ඒ වචනෙ අහගන්න නේද මං මෙච්චර කල් පෙරුම් පිරුවෙ කියලා මට හිතුනා.. ඒ තරම් සතුටක්.... එදා ඔයා මගේ පෙම්වතිය වුනා. අන්ධකාරෙන් වැහිලා තිබ්බ මගේ ජීවිතේට ආලෝකයක් වුනේ ඔයා.. කොහොම මං අමතක කරන්නද......

....................................................................... 


   පහුවදා.. වෙනදට වඩා ගොඩක් ප්‍රබෝධමත්ව මං ඇහැරුණේ. ඊයේ රෑ සිද්ධවුණ දේවල් නිසා පුදුම සතුටකින් මගේ හිත පිරිලා ඉතිරිලා ගිහින් තිබ්බෙ. මං රශ්මිට කෝල් කළා.. ඒත් එයාගෙ ෆෝන් ඕෆ්.. "තාම නිදි ඇති" මං මටම එහෙම කියාගත්තා. ඒත් දවල් වෙනකනුත් එයාගෙ ෆෝන් වැඩ නෑ.. මගේ ඔලුව නිකන් යකාගෙ කම්මල වගේ වුනා. අනේ මගෙ සුදු මැණිකට මොකක්හරි කරදරයක් වත්ද? දැන් මං මොකද කරන්නේ?? මට හිතාගන්න බැරි වුනා.

හවස හතරට විතර එයාගෙන් කෝල් එකක් ආවා....

"සුදූ.. ඔයා කොහෙද ළමයෝ හිටියේ? මං පුදුම විදිහට බය වුනේ.. කී සැරයක් කියලා ඔයාට මන් කතා කළාද??"

"ශානු මට සමාවෙන්න..."

"ඇයි රත්තරං එහෙම කියන්නේ? මොකක්හරි ප්‍රශ්නෙකින් නේද ඔයා ඉන්නෙ? කියන්න මට ප්ලීස්.."

"ශානු අපි මේ සම්බන්ධේ නතර කරමු.. අපිට තව දුරටත් මේ වගේ එකට ඉන්න බෑ.."

   අපායට හෙන ගැහුවා වගේ මේ කිව්ව කතාව ඇහුවම මං තක්බීර් වෙලා ගියා. කිසිම දෙයක් හිතාගන්න බැරුව දෙලොවක් අතරෙ අතරමං වෙච්ච මෝඩයෙක් වගේ මං බෙරිහන් දුන්නා.

"ඒත්, ඇයි රත්තරන් ඔයාට මගෙන් අයින් වෙන්න ඕන? මට කියන්න ප්ලීස් මොකක්ද මගෙන් වුන වැරැද්ද?"

"ඔයාගේ කිසිම වරදක් නෑ ශානු.. මට අද රන්දික අයියා කතා කළා.. එයා අතින් වුන හැම වැරද්දකටම එයා මගෙන් සමාව ඉල්ලුවා. ආයෙ කවදාවත්ම මාව රිද්දන්නෙත් නෑ කියලා එයා මට පොරොන්දු වුනා.. මම එයාට හා කිව්වා ශානු.. අනේ ප්ලීස් මට එයාව ඕන"

   මම කල්පනාවට වැටුනා.. මීට කලිනුත් මං ආදරේ කරලා තියනවා.. ඒ අය මාව දාලා යද්දී මං ඒ අයව කොයි තරම් බැමි දාලා හිර කරගන්න හැදුවත් ඒ හැමකෙනෙක්ම මගෙන් ඈතට ගියා.. ඒත් මම කොහොමද ඔයාට යන්න දෙන්නෙ? මං ඒ හැමකෙනෙක්ටම වඩා ඔයාට ආදරේ කළා.. ඒත් ඔයාගේ සතුට මං ළග නැත්තන්.....

"මං ඔයාට මුළු හදවතින්ම සුබ පතනවා රශ්මි. මට ඕන ඔයා ගොඩක් සතුටින් හිනාවෙලා ජීවිතේ ගෙවනවා දකින්න.. ඔයා ජීවිතේ සතුට හොයාගෙන යද්දි ඔයාව නවත්තලා හිරකරගන්න ත‍රම් මං කුහක නෑ.. ඔයාට අවංකවමයි මං ආදරේ කළේ.. සතුටින් ජීවත් වෙන්න..."

...................................................................... 





හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

......................................................................

ප.ලි
මගේ ජීවිතේ එක් මතකයක් වෙනස් විදිහට අකුරු කරන්න දැරූ උත්සාහයක්.. සාර්ථකත්ය හෝ අසාර්ථකත්වය තීරණය කිරීම පාඨක ඔබට බාරයි...
(මෙහි නම්, ගම් සියල්ල මනකල්පිතය)