Monday, February 22, 2016

ඇක්සිඩන්ට්!!! ඇක්සිඩන්ට්!!!

   හදිසි අනතුරු, එහෙම නැත්තන් කිව්වොත් ඇක්සිඩන්ට් ගැන නම් ඉතින් ලියන්න කතා එමටයි. ඔය සිද්ධ වෙන හදිසි අනතුරු අතරිනුත් මාර්ග අනතුරු ප්‍රධාන තැනක් ගන්නෙ. හැමදාම නිවුස් බැලුවොත්, පත්තරයක් බැලුවොත් මාර්ග අනතුරක් ගැන විස්තරයක් හොයාගන්න නැති දවසක් නැති තරම්. ඉතින් මේ කතාව මගේ එක් අත්දැකීමක්. බොහෝම ලඟදි මුහුණ පාන්න සිද්ධ වුන ඇබැද්දියක්.

එහෙනම් කතාව අහමු නේ...


මෙන්න ඇක්සිඩන්ට් :D


   මීට මාස එක හමාරකට විතර උඩදී, දවසක මගේ ලොකු අයියා අම්මට කෝල් එකක් දීලා තිබ්බා. අයියා පිට රටක ඉන්නේ. ඉතින් එයා අම්මගෙන් අහලා තිබ්බා මේ දවස්වල එයාගෙ නැන්දම්මයි, මාමණ්ඩියි ලංකාවෙ ඉන්නෙ, එයාලා ආයෙ යනකොට එයාලා අතේ ඔය පොඩි පොඩි කුළුබඩු කළමනා ටිකක් එවනවද කියලා. අම්මා ඉතින් කැමති වෙලා මට විස්තරේ කිව්වා. මට පාරට පයින් යන්න කම්මැලි හිතුන නිසා මං අම්මට කිව්වා මල්ලි ආවම ඌත් එක්ක ත්‍රීවීල් එකේ යමු කියලා. මල්ලිට ඩ්‍රයිවින්ග් පුලුවන්. මගේ ඇස් ඔපරේටඩ් කරලා තිබ්බ නිසා මං පාරේ ගියෙ ආවෙත් හෙන බයෙන් ඒ දවස්වල... ලොකුවට පෙනීම තිබ්බෙ නෑ :( (දැන් නම් ශේප්) ඉතින් අම්මත් ඒ කතාවට අනුමැතිය දීලා මල්ලි එනකල් බලන් හිටියා.

   මල්ලි ඉස්කෝලෙ ගිහින් ඇවිත්, හවස ජිම් එකටත් ගිහින් ඇවිත් ඔන්න අපි රෑ 10ට විතර යන්න ලැස්ති වුනා. අපි ප්‍රධාන පාර කිට්ටුවට ආවා. ඒ කිට්ටුවම පල්ලිය තියන නිසා මං මල්ලිට කිව්වා ඔය හරියෙ වාහනේ නවත්තන් ඉදපන් මමයි අම්මයි අරගෙන එන්නම් කියලා. වැඩ්ඩා වගේ එළවන් ආවට ලයිසන් නෑනෙ ඕකට. කොළඹ-නුවර පාරෙ මේ වෙලේට පොලීසියෙන් ඉන්නවා. කොහොම වුනත් මූ එතන නවතින්න කැමති වුනේම නෑ. ඉතින් අපි අතුරු පාරෙන් ප්‍රධාන පාර පැත්තට හැරෙව්වා..

   අපේ පිටිපස්සෙන් කාර් එකක් ඇවිත් අනිත් සයිඩ් එකට යන්න සිග්නල් කරපු නිසා මල්ලි වාහනේ ප්‍රධාන පාරෙ අයිනට කරලා නවත්තලා කාර් එකට ඉඩ දුන්නා. ඊට පස්සෙ මූ වාහනේ ප්‍රධාන පාරට දාන්න ඇක්සලේටර් එකට අත තියන්න හැදුවා විතරයි එකපාර පිටිපස්සෙන් වැදිච්ච තද පාරකින් අපිව හෙල්ලිලා ගියා. බලද්දී කාර් එකකුයි, තව ත්‍රී වීල් එකකුයි. මටයි මල්ලිටයි මල අතේ.. යකෝ පාර අයිනෙ නවත්තලා තිබ්බ වාහනේ. අනික තාත්තා ජීවතුන් අතරෙ හිටපු කාලෙ පරිස්සමෙන් පාවිච්චි කරපු වාහනේ.. ඉතින් අපි ගේමට ගියා.. තව ගෙවල් පැත්තෙ අඳුරන කොල්ලෙක් අපිට එකතු වුනා. උගේ පස්සෙන් තව සෙට් එකක් ආවා. දැන් අරුන් ෆුල් කොර..

   අනිත් ත්‍රීවීල් එකේ ඩ්‍රයිවර් විස්තරේ කියලා තමුන් අතේ වරදක් නැති බව ඔප්පු කළා. ඒ යකා එතන U හැඩේ වංගුවක් අරන් තියෙන්නෙ. සිග්නල් හිටං දාලා.. කාර් එක මේන් රෝඩ් එකේ විදගෙන ඇවිත් තියෙන්නෙ 80න් එහාට. කාර් එකේ අයිතිකාරයා ඌ නෙමේ. ඒ මදිවට ඒ යක්කු බීලා. අර ත්‍රීවීල් එක බේරන්න අපේ පැත්තට හැරෙව්වා කියලා උන් කියනවා. ඒකෙන් වාහන 3ටම ඩැමේජ්.. කොහොම හරි මුලින් ටිකක් සද්දෙන් කතා කරපු ඩබල ටික වෙලාවකින් සයිලන්ස් වුනා. වරද උන්ගෙනෙ. ඉතින් අපි ඉල්ලුවා හොඳ වන්දියක්.. අම්මා නම් කිව්වා 50,000ක් වත් ඕන කියලා. හැබැයි කාර් එක ඩ්‍රයිවින්ග් කරපු එකා කිව්වා ඌට එච්චර දෙන්න බෑ කියලා.. 20,000ක් දෙන්නම් කිව්වා උපරිම.

   අපිත් ඉතින් ඇරියෙ නෑ. 50ක්ම ඉල්ලලා හිටියා. කාර් එකේ ඩ්‍රයිවර් කාරයා සල්ලි ගේන්නම් කියලා මල්ලියි අම්මයි තව දෙතුන් දෙනෙකුයි එක්ක ගියා උගේ ගෙදර. ඒ අස්සෙ ආවා කාර් එකේ අයිතිකාරයා. ඌ ටිකක් නාහෙට නාහන ටයිප් එකේ පොරක්. හිටපු ආමිකාරයෙක්ලු.. මූ එතනින් වාහනේ ගෙනියන්නම දැඟලුවා. අපි ගෙනියන්න දුන්නෙ නෑ.. ඉතින් ඔතන හිටපු එකා දෙන්නා ටිකෙන් ටික ගෙවල් බලා යන්න පටං ගත්තා.. කාර් එකේ අයිතිකාරයා එක්ක ඇවිත් හිටියා උගේ යාලුවෙක්.. මුන් සේරම හොඳට බීලා.. ඒ පොර අපිව කතාවට අල්ලගත්තා. අපිට එහෙට යන්නත් නෑ, මෙහෙට යන්නත් නෑ.. කේන්තිය නිසා ඌට ගහන්නත් ගියෙ.. ඒ අතරේ කාර් එකේ අයිතිකාරයා වාහනේ ස්ටාර්ට් කරන්, යනවා දැක්කා.. මං ෆුල් හොල්මන්. මොනා කරන්නද ඉතින්.....

   ටිකකින් කාර් එක ඩ්‍රයිව් කරපු එකා අපේ අම්මලා එක්ක ආවා. මං හිතුවෙ මූ දැන් 50ක්ම දෙන්න තමා යන්නෙ කියලා.. බලද්දී මූ 20ම තමා දෙන්නම් කියන්නෙ.. පස්සෙ එතන ආයෙ කෑගහගන්න ගත්තා කියාන්කෝ.. අන්තිමට කාර් එක ඩ්‍රයිව් කරපු එකාගෙ යාලුවෙක් ට්‍රැෆික් පොලීසියට කතා කරලා දෙන්නෙක් ආවා පොලිස්කාරයො.. ඇවිත් විස්තර සේරම කතා කරන් ඇහුවා කවුද ත්‍රීවීල් එක ඩ්‍රයිව් කළේ කියලා.. පස්සෙ මල්ලිට ලයිසන් තිබ්බෙ නැති නිසා අපි දන්න කොල්ලෙක් ඉදිරිපත් වුනා ඌ ඩ්‍රයිව් කළේ කියලා.. ඊට පස්සෙ පොලිස්කාරයො කිව්වා වාහනේ පොලීසියට ගෙනියමු කියලා.. පස්සෙ අපි හැමෝම ගියා පොලීසියට.. යකෝ, බලද්දී පොලීසියෙ ලොක්කො ටික එහෙට මෙහෙට වැනෙනවා.. බලද්දී අරුන් බීලා තියෙන්නෙ පොලිස්කාරයොත් එක්ක. මොන මගුලක්ද...


මෙන්න මෙහෙමයි මුන්


 අන්තිමට පොලිස්කාරයො ටික කේස් එක ශේප් කළා.. අන්තිමට අපිට 20ත් අරන් එන්න වුනා හැරිලා.. දැන් හිතෙනවා ඒක හරි හම්බුන එක ලොකු දෙයක් කියලා.. මොකද අපේ වාහනේ ෆුල් ඉන්ෂූරන්ස් කරලා තියන නිසා අපිට ක්ලේම් කරලා හදාගන්න පුළුවන් නෙහ් :D

ප.ලි
අවවාදයයි - බීමතින් රිය නොපදවන්න

Friday, February 19, 2016

පටි ජොකා (18+ වගේ)

   අඩේ අප්පා.. ඊයෙ ඉදන් බ්ලොගේ පෝස්ටුවක් ඔබන්න කියලා හිතාගෙන හිටියෙ. ලියන්න දෙයක් ගැන ඔලුවට කිසිම අයිඩියා එකක් ආවෙ නෑ බොලං. ඒ අස්සෙ නිකන් ඔලුවට ආවා මට වෙච්ච සිද්ධියක්. සතියකට උඩදී...

   පටි ජොකා, එහෙම නැත්තන් සරල සිංහලෙන් කිව්වොත් මේ සපෝටර් කියන්නෙ අපි වගේ සල්ලි දීලා බර උස්සන්න යන උන්ට අත්‍යාවශ්‍යම දෙයක්. මේක සාමාන්‍ය අන්ඩ(ර්)වෙයා ටයිප් එකේම දෙයක් වුනාට විශේෂත්වේ කියන්නෙ මේකෙ පස්ස පැත්තට තියෙන්නෙ හීනි පටි දෙකක් විතරයි. හොඳට තද වෙලා හිටිනවා. ජිම් එකේ වර්ක්අවුට් එක ගහනවා නම් මේ දේ පැළඳීම අනිවාර්යයි (දැන් කියන්න එපා සපෝටර් නොදා සෙල්ලම් කරන උනුත් ඉන්නවා කියලා ඈ). මොකද නැත්තන් විවිධාකාරයේ අතුරු ආබාධ එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. සමහර දේවල් බහින්නත් ඉඩ තියනවලු :D ඔව් ඒක තමා... ඉතින් වටේ ගියා ඇති.. අද මගේ මාතෘකාව "පටි ජොකා අමතක වූ දිනයක්" ^_^

මේ වගේ එකකට තමා පටි ජොකා කිව්වෙ :D

   මම ඉතින් සාමාන්‍යයෙන් ටිකක් කලබලකාරී මිනිහා. වෙලාවකට මං ගන්න දෙයක් තිබ්බ තැන අමතක වෙන අවස්ථා එමටයි. ඉතින් මිත්‍රවරුනි, දවසක් මං ජිම් යන්න ලෑස්ති වෙලා ඇඳුම් හොයනවා. ඇඳුම් එක එක කෑල්ල එක එක තැන්වල තමා පුරුද්දක් වශයෙන් තියෙන්නෙ. කොහොමහරි ඔය කෑල්ලෙන් කෑල්ල එක්කහු කරගෙන බෑග් එකේ ඔබාගත්තා කියමුකෝ. ටිකකින් ආවා මාත් එක්ක ජිම් එකට යන පොර, හවස් වෙලත් තිබ්බ නිසා අපි ටක් ගාලා ඇද්දුවා ජිම් එක දිහාට.

    චේන්ජින්ග් රූම් එකට ගියා. සාමාන්‍යයෙන් මං ගෙදරින් පිටවෙන්නෙම සපෝටරේ දාලා තමා. හැබැයි එදා මට පොඩි බඩේ අවුලක් තිබ්බ නිසා මං ජිම් එකට ඇවිත් දාගන්න හිතාගෙන සපෝටරෙත් බෑග් එකේ ඔබාගත්තා (කියලා මතකයක් තිබ්බා). චේන්ජින්ග් රූම් එක කට්ට කළුවරයි. මං ඉතින් එහෙන් මෙහෙන් අතගාලා ඇඳුම් කෑලි ටික හොයාගෙන ඇඳගත්තා. ඒත් මට නිකමට වගේ දැනුනා මොනාහරි අමතක වුනාද කියලා. ඒ හින්දා කෝකටත් කියලා ඇඳන් ඉන්න ඇඳුම් ටික ආයෙම චෙක් කරලා බැලුවා. "හුටා සපෝටරේ දාලා නෑ යකෝ" මට උඩ ඉන්න දෙයියො සිහිවුනා. මර විකාරෙන් වගේ මං චේන්ජින්ග් රූම් එක අනිත් පැත්ත පෙරලන්න ගත්තෙ මේ පොඩි කෑල්ල කොහෙහරි අස්සකටවත් වැඩම කරලද කියලා බලන්න. මොන... නෑ දෙයියෝ... 

අද මගෙ අනාගතේ ඉවරයි.........

   මගේ යාළුවත් දැන් නිකන් ෆුල් අන්දොස් වෙලා මං දිහා බලන් ඉන්නවා. අඩෝ අද මට සෙල්ලම් කරන්න බෑ වගේ බන්......... මං මූට විස්තරේ කිව්වා. මූ කිව්වා උබ අද බර අඩුවෙන් දාලා ගහපන්. වැඩිය හිටගෙන සෙල්ලම් කරන්න එපා කියලා. එල එල එහෙම කරමු කියාගෙන මාත් ආවා. එන ගමන් මං ෆෝන් එකට ඔලුව දාලා අද දවසෙ සෙල්ලම් කරන්න තියන ලිස්ට් එක බැලුවම මට තරු පෙනුනා. 

අද අත්වලට ගහන දවස, ඉඳගෙන ගහන්නෙ කොහොමද.........

   මං ෆුල් අස්පට් මූණක් දාගෙන ජිම් එක ඇතුලට ආවා. මෙන්න අපේ ජිම් එකේ ලොක්කා ඉන්නවා ඉස්සරහ. තව දෙතුන් දෙනෙකුත් ඒ හරියෙ. අරූ ගිය ගමන් අයියගෙන් ඇහුවා අයියෙ සපෝටරේ නොදා සෙල්ලම් කළාට අවුලක් නෑ නේද කියලා. වස නෝන්ඩිය... එතන හිටපු උන් ටික නිකන් කින්ඩියට වගේ හිනා වුනා. හැබැයි ඉතින් අයියා මගෙ බය ඇරියා. :) එහෙම අවුලක් වෙන්නෙ නෑ මල්ලි. එහෙම වෙනවා නම් ඉතින් වෙන මොනාහරි අවුලක් තියෙන්න ඕන කියලා. කොහොමහරි ඒ වදන නිසාම මං එදා සෙල්ලම් කළා. ඉදලා හිටලා යටි බඩ මිරිකනවා වගේ පොඩි අමාරුවක් ආවා ඇරෙන්න, වෙන අවුලක් නම් වුනේ නෑ හරිය. ඔයින් මෙයින් සෙල්ලම් කරලා ඉවර වෙලා අපි ගෙවල් බලා එන්න පටන් ගත්තා.





   මට තාම හිතාගන්න බැරි මගෙ අසරණ සපෝටරේට මොනා වුනාද කියලා. මට මතකයි ඒක මං බෑග් එකේ දාගත්තා. මගේ හිත කිව්වෙම චේන්ජින්ග් රූම් එකේ කොතන හරි ඕක වැටිලා ඇති කියලමයි. මට තිබ්බ එකම එක සපෝටරේ... දැන් මං ආයෙ අලුතෙන් එකක් ගන්නත් එපැයි....... ගෙදර යනකල්ම එක එක විකාර සිතුවිලි මගෙ ඔලුවේ ෆුට්බෝල් ගහනවා වගේ.. මං ගේ ළඟටම ආවා.. ඔන්න ගේ ඇතුලටත් ආවා..

මෙන්න යකෝ මේ යකා පුටුව උඩ....!!

--------------------------------------

ප.ලි
එහෙමයි වුනේ.. තාම මට කිසිම ප්‍රශ්නයක් නෑ.. හැබැයි කෝකටත් කියලා මං සපෝටරේ අමතක නොකර අඳිනවා..

කැරකෝප්පුව බ්ලොගේ කරන සහෝදරයට මං විශේෂ ස්තූතියක් කරනවා.. මම දන්නෙත් නෑ පොර මගේ ගැන උගෙ පෝස්ට් එකක දාලා තිබ්බා.. බොහොම ස්තූතියි මචන්.. මින් ඉදිරියටත් තවත් කෙනෙක් දිරිමත් කිරීමේ ශක්තිය උබට ලැබේවා කියලා මං පතනවා!!! උබලා වගේ උන් තමා ඉන්න ඕන...

එකෙන්ම!!!
   

Monday, February 15, 2016

මට අහිමි ඔබ... (කෙටිකතාව)

 
"ඒ මහේෂි.. අරයා කවුද?"

"ආ.. ඒ මගේ ඉස්කෝලෙ පරණ යාළුවෙන් බන්. මොකෝ අහන්නෙ? එයා ගැන හිත ගියාවත්ද!"

"නෑ මේ නිකන්.... උබට වැඩක් නෑනේ..."

"හා ඔහොම යමුකො ඉතින්.. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ රජෝ...."

   ඒ උණුසුම් ඔක්තෝම්බරයෙ තවත් එක් සුන්දර දවසක්. එයාව මුලින්ම දැක්ක දවසෙම මගේ හිතේ එයා ගැන අමුතු හැගීමක් ඇතිවුනේ. එයා කොයි තරම් ලස්සනද.. අහිංසක පාටයි.. හරියට පුංචි මුවැත්තියෙක් වගේ. දැක්කම ආදරේ හිතෙන ලස්සන ඇස් දෙකක්. ඒ ඇස් දෙකට මං කොයි තරම් ලෝබ වුනාද.. ඒ මතකය අදටත් මගේ ඇස් ඉදිරියෙ චිත්‍රපටියක දර්ශනයක් වගේ මැවිලා පේනවා. ඒ තරම් මම ලබපු අත්දැකීම් ජීවමානයි. ඒ තරම් මගේ ආදරේ බොළඳ වුනා.

   එයාගෙ නම රශ්මි. මගේ හොඳම යාලුවන්ගෙන් එකියෙක් වුන මහේෂිගෙ මාර්ගෙන් තමා මට එයාව මුලින්ම දැන අදුරගන්න ලැබුනෙ. මුලදි මුලදී එච්චරම නැතත් ටික වෙලාවකින් අපි දෙන්නා හොඳට දොඩමලු වුනේ හරියට නිකන් අවුරුදු ගාණක් දන්න කියන අය වගේ. සංසාර බැඳීමක්දෝ කියලා මට හිතුන වාර අනන්තයි, අප්‍රමාණයි. ඒ තරම්ම අපි එකිනෙකාට ලංවුනා කිව්වොත් මම වැරදි නෑ. අපි හැමදෙයක් ගැන, හැම මාතෘකාවක් ගැනම කතා කළා, විවාද කළා. ඒ අතරෙ විටින් විට අපේ පහුගිය අතීතෙ ගැනත් දේවල් ඇදිලා ආවා. ඒ වගේම එක දවසක මට දැනගන්න ලැබුනා එයාගෙ වැළලිලා ගිය තවත් එක් මතකයක්. ඒ එයාගේ කලින් ආදරේ ගැන.

"අනේ ප්ලීස් ශානක, මම ඔය සබ්ජෙක්ට් එකට පොඩ්ඩක්වත් කැමති නෑ.. මට මතක් කරන්නවත් එපා."

"ඇයි රශ්මි ඔයා එහෙම කියන්නේ.. අපි හැමකෙනෙක්ටම වැළලිච්ච ගඳ ගහන අතීතයක් තියනවා තමා. ඔයා කැමති නම් විතරක් කියන්න, මං ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්නම්. අකමැති නම් ප්‍රශ්නයක් නෑ... මං ඔයාට බලකරන්නේ නෑ."

"හ්ම්... කියන්නම්.. හැබැයි ඔයා ඊට පස්සෙ මං දිහා ගොඩක් පිළිකුලෙන් බලයි...."

"බයවෙන්න එපා මැට්ටි.. මම එහෙම හිතන්නෙ නෑ බිඳක් වත්.."

   එදා එයා මට කිව්ව දේවල්... මට හිතාගන්න බැරි වුනා ඒ මොන වගේ නරක අත්දැකීමක්ද කියලා. කොල්ලෙක් විදියට තවත් කොල්ලෙක් කෙල්ලෙක්ට ඒ වගේ පහත් දෙයක් කළා කිව්වම මට ඇතිවුනේ ලොකු කේන්තියක්.. ලැජ්ජාවක්. කෙනෙක්ට තවත් කෙනෙක්ව බිඳවන්න පුළුවන් සීමාවක් තියනවා. ඒත් මේ තරම්? මේ අහිංසක කෙල්ල මොන තරම් දුකක් හිතේ හිරකරන් ඉන්න ඇද්ද? අසරණී හැඩූ කඳුලෙන්ම විස්තරේ කියලා ඉවර කළා. ඒ වෙලේ මට දැනුන ෆීලින්ග් එක මටවත් හිතාගන්න බැරි තරම්. ඒ තරම් හයියක් මගේ හිතට ලැබුනෙ කොහෙන්ද කියලා හිතන්න ප්‍රමාද වෙන්නැතුව මං කතා කළා.

 "අඩන්න එපා රශ්මි. දුක් වෙලා වැඩක් නෑ. වෙන්න තියන හැමදෙයක්ම දැන් වෙලා ඉවරයිනෙ.. ඔයා තනිවෙලා නෑ ළමයෝ. කවුරු නැතත් ඔයාට මම ඉන්නවා.. මම කවදාවත් ඔයාව තනිකරන්නෙ නෑ..."

"මං ඔයාට ආදරෙයි රශ්මි...."

"පිස්සු කතා කරන්න එපා ශානක. මං ඒ තරම් පහතට වැටිලා නෑ කවදාවත්.. වෙන කෙනෙක් කරපු දේකට ඔයා දඬුවම් විඳින්නෙ මොකටද? මට ඔයාට ආදරේ කරන්න බෑ. මේ මගේ පවු.. ඒවා ඔයා කරගහගන්න එපා. මට වගේ නෙමේ ඔයාට හොඳ ජීවිතයක් තියනවා.."

"රශ්.. මාව ඒ තරම්ම බාල්දු කරන්න එපා. මං මේ දේ අවංකවමයි ඔයාට කිව්වෙ.. ටිකක් තේරුම් ගන්න ළමයෝ..."

.......................................................................



   එදා අපි රෑ වෙනකල්ම ෆෝන් එකෙන් කතා කළා.. ගොඩක් දේවල්.. ඒ දේවල් තාමත් මට ඇහෙනවා වගේ......

"ශානු..."

"හ්ම්ම්..."

"මාව කොහේහරි එක්කගෙන යන්නකෝ..."

"කොහෙටද මං සුදු මැණිකව එක්කගෙන යන්න ඕන?"

"කොහෙහරි.. ඔලුව හැරිච්ච තැනක.. මාව මේ නපුරු මිනිස්සුන්ගෙන් ඈතට අරන් යන්න.."

"අනා මෙයාගෙ හුරතලේ.. හරි අපි යමුකො එහෙනම්.. මං ඔයාව ලෝකෙ වටේම හරි එක්කගෙන යනවා.."

"මැට්ටා.. ඔහොම කියනකොට මට ඔයා ගැන ආදරේ හිතෙනවා......."

   එයා එහෙම කිව්වා. ඒ වචනෙ අහගන්න නේද මං මෙච්චර කල් පෙරුම් පිරුවෙ කියලා මට හිතුනා.. ඒ තරම් සතුටක්.... එදා ඔයා මගේ පෙම්වතිය වුනා. අන්ධකාරෙන් වැහිලා තිබ්බ මගේ ජීවිතේට ආලෝකයක් වුනේ ඔයා.. කොහොම මං අමතක කරන්නද......

....................................................................... 


   පහුවදා.. වෙනදට වඩා ගොඩක් ප්‍රබෝධමත්ව මං ඇහැරුණේ. ඊයේ රෑ සිද්ධවුණ දේවල් නිසා පුදුම සතුටකින් මගේ හිත පිරිලා ඉතිරිලා ගිහින් තිබ්බෙ. මං රශ්මිට කෝල් කළා.. ඒත් එයාගෙ ෆෝන් ඕෆ්.. "තාම නිදි ඇති" මං මටම එහෙම කියාගත්තා. ඒත් දවල් වෙනකනුත් එයාගෙ ෆෝන් වැඩ නෑ.. මගේ ඔලුව නිකන් යකාගෙ කම්මල වගේ වුනා. අනේ මගෙ සුදු මැණිකට මොකක්හරි කරදරයක් වත්ද? දැන් මං මොකද කරන්නේ?? මට හිතාගන්න බැරි වුනා.

හවස හතරට විතර එයාගෙන් කෝල් එකක් ආවා....

"සුදූ.. ඔයා කොහෙද ළමයෝ හිටියේ? මං පුදුම විදිහට බය වුනේ.. කී සැරයක් කියලා ඔයාට මන් කතා කළාද??"

"ශානු මට සමාවෙන්න..."

"ඇයි රත්තරං එහෙම කියන්නේ? මොකක්හරි ප්‍රශ්නෙකින් නේද ඔයා ඉන්නෙ? කියන්න මට ප්ලීස්.."

"ශානු අපි මේ සම්බන්ධේ නතර කරමු.. අපිට තව දුරටත් මේ වගේ එකට ඉන්න බෑ.."

   අපායට හෙන ගැහුවා වගේ මේ කිව්ව කතාව ඇහුවම මං තක්බීර් වෙලා ගියා. කිසිම දෙයක් හිතාගන්න බැරුව දෙලොවක් අතරෙ අතරමං වෙච්ච මෝඩයෙක් වගේ මං බෙරිහන් දුන්නා.

"ඒත්, ඇයි රත්තරන් ඔයාට මගෙන් අයින් වෙන්න ඕන? මට කියන්න ප්ලීස් මොකක්ද මගෙන් වුන වැරැද්ද?"

"ඔයාගේ කිසිම වරදක් නෑ ශානු.. මට අද රන්දික අයියා කතා කළා.. එයා අතින් වුන හැම වැරද්දකටම එයා මගෙන් සමාව ඉල්ලුවා. ආයෙ කවදාවත්ම මාව රිද්දන්නෙත් නෑ කියලා එයා මට පොරොන්දු වුනා.. මම එයාට හා කිව්වා ශානු.. අනේ ප්ලීස් මට එයාව ඕන"

   මම කල්පනාවට වැටුනා.. මීට කලිනුත් මං ආදරේ කරලා තියනවා.. ඒ අය මාව දාලා යද්දී මං ඒ අයව කොයි තරම් බැමි දාලා හිර කරගන්න හැදුවත් ඒ හැමකෙනෙක්ම මගෙන් ඈතට ගියා.. ඒත් මම කොහොමද ඔයාට යන්න දෙන්නෙ? මං ඒ හැමකෙනෙක්ටම වඩා ඔයාට ආදරේ කළා.. ඒත් ඔයාගේ සතුට මං ළග නැත්තන්.....

"මං ඔයාට මුළු හදවතින්ම සුබ පතනවා රශ්මි. මට ඕන ඔයා ගොඩක් සතුටින් හිනාවෙලා ජීවිතේ ගෙවනවා දකින්න.. ඔයා ජීවිතේ සතුට හොයාගෙන යද්දි ඔයාව නවත්තලා හිරකරගන්න ත‍රම් මං කුහක නෑ.. ඔයාට අවංකවමයි මං ආදරේ කළේ.. සතුටින් ජීවත් වෙන්න..."

...................................................................... 





හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

......................................................................

ප.ලි
මගේ ජීවිතේ එක් මතකයක් වෙනස් විදිහට අකුරු කරන්න දැරූ උත්සාහයක්.. සාර්ථකත්ය හෝ අසාර්ථකත්වය තීරණය කිරීම පාඨක ඔබට බාරයි...
(මෙහි නම්, ගම් සියල්ල මනකල්පිතය)

Saturday, February 13, 2016

යා යුතු මග බෝමයි (ආරම්භක කතාව)

සභාවෙන් අවසරයි!

සහෝදරවරුනි...

   කාලයක් බොහොම ආසාවෙන් කරපු දෙයක් මොකක්ම හරි ජල්තරයක් නිසා මග හිටලා, තව කාලෙකට පස්සෙ අර ආස දේ ආයෙම කරන්න ලැබුනම කොහොමද හිතට දැනෙන සතුට? කියලා නිම කරන්න බෑ නේද? බ්ලොග් ලිවිල්ල ගැනත් මට තියෙන්නෙ ඒ විදිහෙම අත්දැකීමක්.. ඔව්, ඒ කියන්නෙ මේ මගේ මුල්ම බ්ලොගේ නෙමෙයි.. මම මීට කලිනුත් බ්ලොග් ලියලා තියනවා.. මතක මාවත එහෙමත් නැත්තන් මං ඒ දවස්වල කරපු බ්ලොගේ පටන් ගත්තේ පට්ට ආසාවකින්.. ඒ දවස්වල බ්ලොග් පෝස්ට් එකක් දාන්න මං එසේ මෙසේ කට්ටක් නෙමේ කෑවෙ.. පොඩි කොම්පියුටර් ලඩියක් තිබ්බා මට, ගොඩක් වෙලේට පෝස්ට් දැම්මෙ ෆෝන් එකෙන්.. ෆෝන් එකෙත් සිංහල යුනිකෝඩ් තිබ්බෙ නෑ -_- සමහර දවස්වලට දාන පෝස්ට්වල පට්ට මිස්ටේක්ස් තිබ්බා..

"ඉතින් බලහන්කො නේ ඒකෙත් හැටි.."

   එහෙමත් ලිව්ව මං පස්සෙ පොඩි පොඩි හුටපටවල පැටලුනා :3 ඔව් එව්වා තමා.. ඉතින් ඒ නිසා ලිවිල්ල ටිකක් පස්සට ගියා.. පස්සෙ කාලෙක ඒ හුටපට ලටපට වෙලා අවසන් ගමන් ගියා කියහන්කො.. මං එතකොට කළේ මට හිතට එන දේ කොයි විදිහට හරි ගලපලා බ්ලොගේ පෝස්ට් එකක් විදියට දාපු එක.. ටික කාලෙකින් මගේ පෝස්ට් මටම හෙන ඇලජික් වුනා.. ඉතින් මං මේකෙන් ඈතටම වෙලා ඉන්න තීරණය කළා.. ඒ අතරෙ උසස්පෙළ විභාගෙත් කට ළඟටම ඇවිත් තිබ්බෙ.. මගේ විභාගෙට කිසිම සූදානමක් තිබ්බෙ නෑ.. ඉතින් කෙළවුනා මිත්‍රවරුනි :( ඊට පස්සෙ හිත ටිකක් සන්සුන් කරන් මම දෙවෙනි පාරත් විභාගේ ලියන්න ලැස්ති වුනා.. ඒ කාලෙ වෙද්දි මම සෑහෙන වෙනස් චරිතයක් වෙලා හිටියෙ.. බැනලා නෙමේ ගහලාවත් මොකෙක්ටවත් මාව බිමට ඇදලා දාන්න බෑ කියලා මං තදින්ම හිතාගෙන හිටියා.. දෙවි පිහිටෙන් ඒ පාර එක්සෑම් එකෙන් මං ගොඩ ගියා.. ^_^


මම @ ඉගිලෙන ඉරියව්වෙන්

   අද වෙද්දී මං බ්ලොග් ලිවිල්ල නවත්තලා අවුරුදු දෙකකුත් පහුවෙලා ගිහින්.. බ්ලොග් ලියන්න ආසාවක් නොතිබ්බා නෙමේ, කිසි කික් එකක් තිබ්බෙ නෑ මට ලියන්න.. ඊයේ අපේ ක්ලාස් එකේ බ්ලොගක් කරන කොල්ලෙක් එක්ක කතා කරන් යද්දී මට ආයෙ පට්ට කික් එකක් ආවා ලියන්න.. ඒ කික් එකේ අග්‍රඵලය තමා මේ ;) ඒ කාලෙ ෆිට් එකේ හිටපු සෙට් එකට මාව දැන් මතකද මන්දා.. මගේ ඩෙනිම ලියන ඩූඩ් අයියට නම් මාව ලාවටද කොහෙද මීටරේ තිබ්බා.. ඩූඩ් අයියා ඒ කාලෙ මට පට්ට හෙල්ප් එකක් දුන්නා පෝස්ට්වල වැරදි හදාගන්න.. ඒ විතරක් නෙමේ සුමිත් අයියා, නලින් අයියා, ලොකු ජෝන් අයියා, කරූ, අටමා, මාතලන්, ධාරා, හැලපයියා වගේම නම් කියන්න බැරි වුන බොහෝ දෙනෙක් මට වචනෙන් හරි ධෛර්යය දුන්නා ඒ කාලෙ.. ඒ වගේමයි මුල්ම කාලෙ බ්ලොග හරියට අටවගන්න සප් එක දුන්න තහනම් අඩවියෙ රජාවත් මතක් කරනවා (නැත්තන් පොර උදහස් වෙන්න බැරි නෑ).. ඒ කාලෙ බ්ලොග් ලිව්ව සෙට් එකෙන් කීයෙන් කීදෙනෙක් දැන් බ්ලොග් ලියනවද කියලවත් මං දන්නෙ නෑ..අනිත් උන්ගෙ බ්ලොග් අස්සෙ රිංගන්න ගන්නවා ආයේ ඔව් ^_^

   අවසාන වශයෙන්, පරණ බ්ලොගේම පෝස්ට් නොදා අළුත් බ්ලොගක වැඩ පටන් ගන්න යන්නෙ ඇයි කියලා කිහිපදෙනෙක්ම මගෙන් ඇහුවා.. සිරාවටම කිව්වොත් මට ඕන වුනා පරණ දෙයින් මිදිලා අළුත් විදිහට පටන් ගන්න.. හැමදාම ඕන වුනා පරණ ගොන්කම් අත් ඇරලා අළුත් මිනිහෙක් වෙන්න, එදත් අදත් ඒ පැතුම නම් එහෙම්ම තමා.. මේකට කටු අකුල කියලා දාන්න හිතුනෙත් හේතුවක් ඇතුව.. මගේ අදහස අනුව කටු අකුල = මම ඇතිකරගෙන තිබ්බ ප්‍රශ්න.. කටු අකුලක වැටිලා ඉන්න තාක් කල් අපිට රිදෙනවා, තුවාල වෙනවා, ඒ තුවාල ආයෙම පෑරෙනවා.. ඒත් මම යනු කටු අකුලක් මැද්දෙ ඉදලා ඒ වේදනාව මැඩගෙන එතනින් එලියට ආව එකෙක්.. ඒ කියන්නෙ ජීවිතේ ඉස්සරහට යන එකෙක්.. :D

ප.ලි
හැමකෙනෙක්ම මතක් කරන්න බැරි වුන එක ගැන කවුරුත් අමනාප වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා.. එහෙම ලේසියෙන් මුල අමතක කරන එකෙක් නෙමේ මං :) දැන් උබලට දුම්මල ගහලවත් මාව එලවන්න බෑ..

එහෙනම් හැම කෙනෙක්ම මේ පොඩි සංග්‍රහය භුක්තිවිඳලා ඉමුකෝ...


ඔව් උබලා වෙනුවෙන්ම ඕඩර් කරපුවා.. රසද බලහන්..